වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. මූලික පරික්ෂණ කිහිපයක් සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා හිටපු ජනාධිපතිවරයා එලෙස කොළඹ ජාතික රෝහල වෙත මාරු කළ බවයි වැලිකඩ බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා වෛද්‍යවරුන් විසින් පරික්ෂා කර තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වකුගඩු ඇතුළු විශේෂ වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සඳහා යොමු කළ යුතු බවයි. එම පරික්ෂණ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අදාළ පරික්ෂණ සිදු කරනු ලබන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතන මගින් බවයි බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. එහෙත් එම ආයතනයේදී සති අන්තයේ එම කටයුතු සිදු කිරීමට නොහැකි බැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කළ යුතු බව ඔහු පරික්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයාගේද අනුමැතියට යටත්ව හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට අද පස්වරු 02යි 20ට පමණ මාරු කළ බවයි වැලිකඩ බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. ඊයේ රාත්‍රියේ අධිකරණයේ සිට රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් එහි රැඳවියෙකු ලෙස ලියාපදිංචි කර තිබෙනවා. බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් හිටපු ජනාධිපතිවරයා පරික්ෂා කර ඇති අතර එහිදී නිර්දේශ කර ඇත්තේ ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙසයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුන්වෙනි වාට්ටුවට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණා. මරණීය දණ්ඩණය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු තවත් රැඳවියන් 50කට ආසන්න පිරිසක් එම වාට්ටුවේ රඳවා සිටි බවයි වැලිකඩ බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. එවන් තත්ත්වයක් හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වාට්ටුවට ඇතුළත් කළහොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට නොහැකි බවට බන්ධනාගාර නිලධාරීන් පවසා තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ නිර්දේශය මත හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිකාර ලබා දීම සඳහා ඇතුළත් කර ඇත්තේ එම රෝහලේ ජේලර්වරයාගේ විවේක කාමරයට බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇඳක් සහ අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබූ බවද වැලිකඩ බන්ධනාගාර රෝහල් ආරංචි පැවසුවා. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිවසින් ආහාර ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් බන්ධනාගාරයෙන් කළ ඉල්ලීමකට අනුවයි. බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් එම රෝහලේදී පිසින ලද ආහාර ලබා ගත යුතු වනවා. කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එලෙස ආහාර වේල් තුනම නිවසින් ලබා ගැනීමට අවසර ලබා දී ඇති බවයි වැලිකඩ බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.
Published