උතුරු කොරියානු ගුවන් සීමාවට ඩ්‍රෝන යානා ඇතුළු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු බවට තීන්දු කරමින්, දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යුන් සුක් ඉයෝල්ට සෝල් දිස්ත්‍රික් අධිකරණය මඟින් වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙකුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහීවීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම යන චෝදනා යටතේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා
නඩුව විභාග කළ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ, පසුගිය 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී හිටපු ජනාධිපතිවරයාගේ නියෝග මත උතුරු කොරියාවේ ප්යොන්ග්යෑන්ග් අගනුවර වෙත මෙම ඩ්‍රෝන යානා යවා ඇති බවයි.
දකුණු කොරියාව තුළ හදිසි යුධ නීතියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා සුදුසු පසුබිමක් සහ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ප්‍රකෝපකාරී තත්වයක් නිර්මාණය කරගැනීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ වී තිබූ බව අධිකරණයේදී සනාථ වී තිබෙනවා.
මෙම නඩු තීන්දුව මඟින් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යුන්ට (Kim Yong-hyun) වසර 30ක සිරදඬුවමක්ද, හිටපු රාජ්‍ය ආරක්ෂක ප්‍රති-බුද්ධි අංශ ප්‍රධානී යෙයෝ ඉන්-හ්යුන්ට (Yeo In-hyung) වසර 15ක සිරදඬුවමක්ද නියම කෙරුණා.
එමෙන්ම, හිටපු ඩ්‍රෝන මෙහෙයුම් අණදෙන නිලධාරී කිම් යොන්ග්-ඩේට (Kim Yong-dae) වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් සමඟ වසර 3ක සිරදඬුවමක් නියම කිරීමටයි අධිකරණය පියවර ගත්තේ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කළේ උතුරු කොරියාව විසින් දකුණු කොරියානු සීමාවට කුණු කසළ පිරවූ බැලූන එවීමට එරෙහිව මෙය සාධාරණ මිලිටරි ප්‍රතිචාරයක් ලෙස සිදුකළ බවයි.
එහෙත් අධිකරණය එම තර්කය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, මෙම ක්‍රියාව තුළින් දෙරට අතර අනවශ්‍ය යුධමය අවදානමක් මතු වූ බවත්, මෙහි ප්‍රධානතම වගකීම හිටපු ජනාධිපති යුන් සුක් ඉයෝල් සතු වන බවයි .
හිටපු ජනාධිපතිවරයා 2024 දෙසැම්බර් මස දියත් කළ අසාර්ථක යුධ නීති ප්‍රකාශනය හේතුවෙන් රට තුළ හටගත් දේශපාලන අර්බුදය අවසන් වූයේ ඔහු දෝෂාභියෝගයකින් ධුරයෙන් පහකිරීමෙන් පසුවයි.
ඉන්පසු පැවැති මැතිවරණයෙන් විපක්ෂ නායක ලී ජේ-මියුන්ග් (Lee Jae-myung) විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තා.
රට පාවාදීමේ සහ කැරලි ගැසීමේ චෝදනාවලට වරදකරු වී දැනටමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපති යුන්ට, මෙම නව තීන්දුවත් සමඟ තවත් වසර 35ක අමතර සිරදඬුවම් ප්‍රමාණයක් එක්ව තිබෙනවා.




