චීන රජයට සම්බන්ධ පර්යේෂණායතනයක් විසින් නවසීලන්තය තුළ චන්ද්‍රිකා නිරීක්ෂණ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමට දැරූ ප්‍රයත්නයක් ව්‍යර්ථ කිරීමට හැකිවූ බව නවසීලන්තයේ ජාතික ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කරයි.

වැඩිවන ඔත්තු බැලීම් සහ ආරක්ෂක තර්ජන පිළිබඳව නිකුත් කළ වාර්ෂිත තක්සේරු වාර්තාව මගින් ආරක්ෂක අංශ මේ බව අනාවරණය කර තිබේ.

නවසීලන්ත ආරක්ෂක බුද්ධි සේවයට අනුව, බීජිං පාලනය සමඟ සමීප සබඳතා පවත්වන චීනයේ පිහිටි 'Purple Mountain Observatory' නම් ආයතනය, දේශීය සමාගමක් මාර්ගයෙන් මෙම අභ්‍යවකාශ යටිතල පහසුකම් සපයා ගැනීමට උත්සාහ කර ඇත. අදාළ උපකරණ මගින් හමුදාමය වටිනාකමකින් යුත් බුද්ධි තොරතුරු රැස්කළ හැකි බවට අදාළ නවසීලන්ත සමාගම දැනුවත්ව නොසිටින්නට ඇති බවද කියැවේ.

කෙසේවෙතත්, අදාළ නවසීලන්ත සමාගමේ නම හෝ මෙම සැලසුම ව්‍යර්ථ කළ ආකාරය පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ විසින් හෙළිදරව් කර නොමැත. බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද '2026 ආරක්ෂක තර්ජන පසුබිම' පිළිබඳ අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ නවසීලන්තයට එරෙහිව විශාල පරිමාණයෙන් ඔත්තු බැලීමේ කටයුතු සිදුකරන එකම රට චීනය බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් විමසීමට කළ ඉල්ලීම් සඳහා නවසීලන්තයේ පිහිටි චීන තනාපති කාර්යාලය හෝ අදාළ පර්යේෂණායතනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.