නීතිවිරෝධී ලෙස “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් “රැන්ඩි” නැමති නිල පොලිස් සුනඛයාගේ සහය මත සිදු කළ වැටලීමකදීයි.

ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිට තිබෙනවා.

එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමෙන් ඒ අසල සේවයේ නිරත වී සිටි පොලිස් නිල සුනඛයා යොදවා පරික්‍ෂා කිරීමටයි අදාළ නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

සැකකරුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08යි ග්‍රෑම් 542ක් එහිදී සොයා ගැනීමට හැකි වූ බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැවසුවා.

එලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් පමණ වන බවටද අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි ඉන්දියාවේ චෙන්නායිහි පදිංචි ජායාරූප ශිල්පියෙක්.

ඔහු අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතයි.