ගාසා මානුෂීය ආධාර පදනම ආරම්භ වූ දා සිට මේ දක්වා ආධාර ලබාගැනීම සඳහා පැමිණෙන සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනයට ලක්වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා මානුෂීය පදනමට චෝදනා එල්ල කර තිබෙනවා.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී ජොනී මුවර් පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර, ආධාර බෙදාදෙන ස්ථාන ආසන්නයට එල්ලවන බැවින් මරණ වැඩි වශයෙන් වාර්තා වන බවයි.
තවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන අසත්‍ය තොරතුරු පතුරවන බවට ඔහු චෝදනා එල්ල කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආයතන විසින් ඨ්යත් ආධාර ක්‍රමය හෙළා දැක ඇති අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එය අනාරක්ෂිත බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මේ වන විට ආධාර ලබාගැනීමට පැමිණි පලස්තීනුවන් 500කට වැඩි පිරිසක් මිය ගොස් 4,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.
ආධාර බෙදාහැරීමේ ස්ථාන අසල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමට තමාට අණ ලබා දී ඇති බව ඊශ්‍රායල හමුදා සෙබලුන් ප්‍රකාශ කර සිටිය ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ සිවිල් වැසියන්ට හිතාමතා වෙඩි තැබීමට තම හමුදාවන්ට උපදෙස් ලබාදී නොමැති බවයි.
පසුගිය මාසයේ ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු වන ආධාර අවහිර කර තිබු අතර පසුව සති 11ක අවහිරය අර්ධ වශයෙන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබුණේ.
නමුත් එම අවහිරය අර්ධ වශයෙන් ලිහිල් කළද, ගාසා තීරයට ඇතුළු වන ආධාර ප්‍රමාණය තවමත් ප්‍රමාණවත් නොවන බවයි විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ.