පෞද්ගලික ඔසු සැල් හරහා ගෙන්වන ඖෂධ සඳහා මිල නියාමනයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රජයේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

ඖෂධ මිලදී ගැනීමේදී මෙතරම් ගැටලු මතුවන්නේ ඇයි? ඖෂධ හිඟ වීමට පෙර ඒ පිළිබඳ දැන ගැනීමට ක්‍රමවේදයක් නොමැතිද?

රෝහල් සතුව ඇති ඖෂධ සංචිත සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කියා සිටියේ.

ඖෂධ සහ ශල්‍ය උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට රට පුරා දැඩි කතාබහක් මතුව ඇත්තේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය විසින් සිදු කළ වංචාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වීමත් සමගයි.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ශල්‍යකර්මවලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන ඊ.වී.ඩී නැමැති ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී ඒවා පිටතින් මිලදී ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට දැනුම් දී තිබෙන බවයි. අනාවරණය වී ඇති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව රුපියල් 17,500ක් පමණ මුදලකට රෝහලින් මිලදී ගත හැකි මෙම ශල්‍ය උපකරණය මෙම සැකකරුවන් විසින් රුපියල් එක් ලක්ෂ 50,000 සිට දෙලක්ෂ 50,000 දක්වා මුදලකට සැකකාර වෛද්‍යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර තිබෙන බවයි හෙළි වී ඇත්තේ.

අදාළ ශල්‍ය අයිතමය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවත් යම් හෙයකින් එය නොමැති බව අනාවරණය වුණොත් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒවාගෙන් ලබාගත හැකි හදිසි මිලදී ගැනීමේ ක්‍රම පවා රෝහල තුළ තිබියදී සැකකාර වෛද්‍යවරිය මෙලෙස රෝගීන් බාහිර ආයතනයක් ඇති යොමු කර තිබෙන බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.