වෙනිසියුලාවේ කරාකස් අගනුවර එක පිට එක ඇතිවූ ප්‍රබල භූකම්පන දෙකක් හේතුවෙන් බරපතල හානි සිදුව තිබෙනවා.
පළමු භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ලෙසත් දෙවන භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙසත් සදහන්ව ඇති බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
ඇතිවූ භූකම්පන සමඟ කරාකස් අගනුවර ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබෙනවා.
වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වූ බැවින් භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී බොහෝ පිරිස් රැදී සිට ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වලයි.
ඇති වූ සෙලවීමත් සමග බියටපත් වූ පිරිස් කලබලයෙන් මහා මාර්ගවලට දුව ආ බවයි බවයි එරට සිටින බීබීසී වාර්තාකරුවන් කියාසිටියේ.
මෙම ස්වාභාවික ආපදාව නිසා සිදුවූ මරණ හෝ තුවාලකරුවන් පිළිබද තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් කර නැහැ.
කෙසේවෙතත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මියගිය සංඛ්‍යාව 10,000 ද ඉක්මවා යා හැකි බවයි.
කරාකස් අගනුවර බටහිර දෙසින් මෙම භූකම්පනය ඇති වී තිබෙනවා.
මුළු වෙනිසියුලාවටම මෙන්ම අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා නුවරට ද එහි බලපෑම දැනී ඇති බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, සිදුවූ හානි හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ‘මයිකටියා’ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දමා තිබෙනවා.
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, සහන සේවා කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ හමුදා ජෙනරාල්වරයෙකු ද පත්කර තිබෙන බවයි බීබීසී වාර්තාවේ දැක්වෙන්නේ.
මේ මොහොතේ සියලු දෙනා එක්වී එකමුතුව කටයුතු කළ යුතු බව ජාතිය අමතමින් ඇය ප්‍රකාශයක් කළා.




