ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කල හැකි නවතම අධි බල අවියක් ඉරානය විසින් අත්හදා බලා තිබෙනවා.

ඉරාන ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකායද මේ බව පිළිගෙන ඇති අතර ඔවුන් පවසන්නේ තම රටට එරෙහිව යම් පර්ශවයක් කිසියම් ප්‍රහාරයක් එල්ල කළොත් මීට පෙර යුද පිටියක දැක නැති අති නවීන සහ භයානකම අවි භාවිතා කරමින් මුලු කලාපයම ආවරණය වන ලෙස ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් සිදුකිරීමට දැන් තමන් සූදානම් බවයි.

කෙසේවෙතත් අත්හදා බැලූ නවතම අධි බල අවිය පිළිබඳ කිසිදු නිල තොරතුරක් ඔවුන් හෙළි කර නැහැ.

ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නිෂ්පාදනය කර තිබෙන්නේ ඕනෑම දරුණු තර්ජනයකට මුහුණ දිය හැකි ලෙසයි.

කෙසේවෙතත් එම ආරක්ෂක උපක්‍රම බිදහෙළිය හැකි ක්‍රමය තමන් දැන් හදුනාගෙන ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය පවසනවා.

අත්හදා බැලූ නවතම අධි බල අවිය නිපදවා ඇත්තේ ද ඒ අනුව බවයි ඔවුන් කියා සිටියේ.

එහි අත්හදා බැලීම් සිදුකරනු ලැබුවේ සැබෑ ඇමෙරිකානු යුද නැව් ඉලක්ක කරමින් බවද ඔවුන් පැවසුවා.

එසේ තිබියදී මෙම නවතම අධි බල අවියේ නම හෝ ඊට ගමන් කළ හැකි උපරිම දුර ඇතුලු විස්තර හෙළි නොකරන්නේ ආරක්ෂක හේතුන් මත බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව පවසන්නේ අත්හදා බැලීම් සාර්ථක වූ බව ඉරානය කියා සිටියත් ඉරාන ප්‍රහාර සියල්ලම තමන්ගේ දියුණු ආරක්ෂණ පද්ධති මගින් ව්‍යාර්ථ කළ බවයි.

කිසිදු ඇමෙරිකානු සෙබලෙකුට එම ප්‍රහාරවලින් හානියක් සිදු නොවූ බව ද ඇමෙරිකාව පැවසුවා.

ඉරානය සතුව ඉතා දියුණු මිසයිල අවි ගබඩාවක් පවතින බවයි විශ්වාස කෙරෙන්නේ.

කොරම්ශහර්, ශහාබ්, කාඩර් වැනි හයිපසොනික් සහ දිගු දුර බැලස්ටික් මිසයිල ඒ අතරින් විශේෂයි.

මෙම මිසයිල චන්ද්‍රිකා තාක්ෂණය සහ ස්වයංක්‍රීයව ඉලක්ක හඳුනා ගැනීමේ හැකියාව ද සහිත වනවා.

ඒ නිසා ඕනෑම නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියකටද ඒවා මර්දනය කිරීම දුෂ්කර වී තිබෙන බව යුද විශේෂඥයින් පවසනවා.

එසේ තිබියදී ඉරානය දැන් අත්හදා බලා තිබෙන නවතම අධිබල අවිය ඉලෙක්ට්‍රෝ ඔප්ටිකල් මාර්ගෝපදේශ මිසයිල, දිගුදුර කෲස් මිසයිල හෝ හයිපසොනික් මිසයිල තාක්ෂණයේම දිගුවක් විය හැකි බවයි යුද විශේෂඥයින් වැඩිදුරටත් පවසන්නේ.

ඉරානයේ මෙම දියුණු මිසයිල වැඩසටහන පුළුල් තාක්ෂණික මෙහෙයුමක කොටසක් විය හැකි බව බටහිර බුද්ධි වාර්තා ආනාවරණ කර ඇතැයි විදෙස් මධ්‍ය පවසනවා.

ලෝක බලවතුන් දෙදෙනෙකුගේ සහය ද ඊට ලැබී ඇති බව ද බටහිර බුද්ධි වාර්තාවන්හි සදහන් බවයි විදෙස් මධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඉරානයට මෙලෙස සහය ලබා දී ඇති පළමු ලෝක බලවතා ලෙස සැලකෙන්නේ චීනයයි.

ඉරානය ඇමෙරිකානු නෞකා වෙත මිසයිල නිවැරදිව ඉලකක් කිරීමට චීන චන්ද්‍රිකා ඡාය රූප සහ සංචලන තාක්ෂණය බහුලව යොදාගෙන ඇතැයි විශ්වාස කෙරෙනවා.

යුද ශක්තිය තර කර ගැනීම සදහා ඉරානයට සහය දෙන දෙවන රට ලෙස සැලකෙන්නේ රුසියාවයි.

බටහිර බුද්ධි තොරතුරු වලට අනුව ශබ්දයේ වේගයට ද වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි සුපර්සොනික් කෲස් මිසයිල නිපදවීමේ විශේෂ ව්‍යාපෘතිය සඳහා රුසියාව සෘජුවම ඉරානයට සහය දක්වා තිබෙනවා.