ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල යලි අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල යලි අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළා.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන් එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.