දියේ ගීලි සිදුවන අනතුරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වනවා. එවැනි තවත් අනතුරු දෙකක් සෙවනගල සහ හලාවත පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වුණා. සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ මසුන් ඇල්ලීමට පුද්ගලයන් දෙදෙනෙකු ගොස් තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකු එම වැවට වැටී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වූ සෙවනගල, මහගම ජනපදයේ පදිංචිකරුවෙක්. ඔහුගේ මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර හලාවත - කරවිට වැවේදී තෙප්පමක් පෙරළී යාමෙන් දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත - මුංගන්දළුව ප්‍රදේශයේ පදිංචිකරු වයස අවුරුදු 38 ක් වූ පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. ඔහු මිතුරන් පිරිසක් සමග කරවිට වැව ආසන්නයේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා. සාදය රසවත් කර ගැනීමට ඔවුන් මසුන් ඇල්ලීම සදහා කරවිට වැවේ දැලක්ද අතුරා ඇති බවයි පොලීසිය පැවසුවේ. එම දැලට පැටලී සිටින මාළු රැගෙන ඒමට අතුරුදන්වූ පුද්ගලයා තෙප්පමක නැග වැවට පිටත්ව ගොස් තිබෙනවා. මසුන් රැගෙන ඒමට ගිය ඔහු යළි ගොඩට නොපැමිණීම පිළිබද මිතුරන් පිරිස සොයා බැලීමක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදි තෙප්පම පමණක් වැවේ පාවිමෙන් තිබියදී ඔවුන්ට නිරීක්‍ෂණය වී තිබෙනවා. ඒ පිළිබද අවට සිටින ධීවරයින්ට දැණුම් දී ඇති අතර අතුරුදන්වූ පුද්ගලයා මෙතෙක් සොයා ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා