'' Walk for Peace'' හෙවත් ලෝකයට සාමයේ පණිවිඩය ගෙන යන ඒහිපස්සිකෝ සාම පාගමනේ අවසන් අදියර අද පෙරවරුවේ කැළණිය රජමහා විහරස්ථානය අසලින් ආරම්භ වනවා.

වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සාම පා ගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.

පස්වරු 4.00 ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, එහිදී ජනාධිපතිවරයා විසින් පඤ්ඤාකාර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම සිදු කෙරෙනවා.

එතැන් සිට පස්වරු 5.30 ට යළි ආරම්භ කෙරෙන පා ගමන රාත්‍රී 7.00 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමෙන් පසු නිමාවට පත් වීමට නියමිතයි.

මෙම සාම පාගමන හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පෙරවරු 11 සිට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

බණ්ඩාරනායක වටරවුමේ සිට බොරැල්ල හන්දිය දක්වා බේස්ලයින් මාර්ගය, මරදාන පාර, වෝඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම සහ ධර්මපාල මාවත ඒ අතර වනවා.

මීට අමතරව සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, නිදහස් මාවත, හෝර්ටන් වටරවුම, පිත්තල හන්දිය සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග වලද අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.

ඒ අනුව සිදුවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.