කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු දින 548ක් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රුපියල් මිලියන 4,227 ක වන්දියක් ඉල්ලා ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදීයි.
එහිදී අදාළ සංවර්ධන කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් අදාළ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.
2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට එවක අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වන ගිවිසුමට 2021 දෙසැම්බර් මස අත්සන් කර ඇති අතර 2025 ජනවාරි 03 වැනි දින එම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් කරුණු කිහිපයක් හේතුවෙන් එම ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බවයි කෝප් කමිටුවේදී අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් අදාළ කොන්ත්‍රාත්කරු රුපියල් මිලියන 4,227 ක් වන්දි ඉල්ලා ඇති බව එම කාරක සභාව පෙන්වා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අදාළ නිලධාරීන්ට නිර්දේශ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
අදාළ සංවර්ධන කටයුතු මේ වන විට ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කර ඇති බවත් කඩිනමින් එම කටයුතු අවසන් වනු ඇති බවත් එහිදී නිලධාරීන් කොප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.




