වසර දෙකකට ආසන්න කාලයක් පවතින ගාසා යුද්ධය තවත් උග්‍ර කිරීමේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්මට එරෙහිව විරෝධය පළ කරමින් ඊශ්‍රායලය පුරා දැවැන්ත විරෝධතා ඇතිවී තිබෙනවා. දහස් ගණනක් විරෝධතාකරුවන්ගේ සහභාගිත්වයෙන් හයිෆා සහ ටෙල් අවිව් ඇතුළු නගරවල විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තවද විරෝධතාකරුවන් ජෙරුසලමේ වීදි බැස අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස අසලද ඔහුගේ රජයේ සැලැස්මට එරෙහිව විරෝධය පළ කර තිබෙනවා. හමුදා නිලධාරීන් සහ ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වලින් ද ඊට එරෙහිව විරෝධය පළවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුද්ධය වහාම අවසන් කිරීමට මැදිහත් වන ලෙසයි දහස් ගණනක් විරෝධතාකරුවන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ. ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කැබිනට් මණ්ඩලය, පුළුල් මහජන විරෝධය නොතකා පලස්තීන භූමියේ හමුදා මෙහෙයුම් පුළුල් කරමින් ගාසා නගරය අත්පත් කර ගැනීමට තීරණය කර තිබුනා. මේ අතර, ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්ම නව යුද අපරාධයක් බවත් එය ඊශ්‍රායලයට විශාල වියදමක් දැරීමට සිදුවන බවත් හමාස් සංවිධානය පවසා තිබෙනවා. ගාසා තීරයේ යුද්ධය පුළුල් කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය සම්බන්ධයෙන් සහ පලස්තීන සිවිල් වැසියන්ට සහ ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු අගවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, තුර්කිය, ජර්මනිය, ෆින්ලන්තය සහ කැනඩාව ඇතුළු බොහෝ රටවල හෙළා දැක තිබෙනවා. විදෙස් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී නෙතන්යාහු පැවසුවේ හමුදාව මුළු ගාසා තීරයම පාලනය කිරීමට අදහස් කරන නමුත් ඊශ්‍රායලයට එම භූමිය තබා ගැනීමට අවශ්‍ය නොවන බවයි. කෙසේවෙතත් අගමැති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ හමුදාව ගාසා නගරය අත්පත් කර ගන්නා බව සඳහන් වූ නමුත් ඊශ්‍රායල හමුදා මුළු ප්‍රදේශයම අත්පත් කර ගනීද යන්න පැහැදිලිව ප්‍රකාශ කර නැහැ.
Published