පාකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීර (PoJK) ප්‍රදේශයේ පැවැති සාමකාමී විරෝධතාවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවත්, සාමකාමීව රැස්වීමේ මූලික අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටී.

 

එක්සත් ජාතීන්ගේ නිත්‍ය මාධ්‍ය හමුවේදී මෙම කලාපයේ පවතින තත්ත්වය සහ මානව හිමිකම් පිළිබඳව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කළේ ඕනෑම පාලන ප්‍රදේශයක බලධාරීන් විසින් සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කළ යුතු බවයි.

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ ඉල්ලීම් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි මහලේකම්වරයා බලාපොරොත්තු වෙනවා," යැයි ෆර්හාන් හක් පැවසීය.

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රදේශයේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගවීමක් පැවැතිය යුතු බව අවධාරණය කළ හක් , විරෝධතාකරුවන්ට සිදුවූ යම් හානියක් ඇත්නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය.

"සියලුම බලධාරීන් සාමකාමී විරෝධතාවලට ඉඩ දීම ඉතා වැදගත්. සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීම නිසා යම් කිසිවෙකුට හානියක් සිදුවී ඇත්නම්, ඒ සඳහා අදාළ පාර්ශ්ව වගකිව යුතුයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

පාකිස්තාන පාලනයේ පවතින ජම්මු-කාශ්මීරයේ පැවැත්වීමට නියමිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණයට පෙර එම ප්‍රදේශයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් පසුගිය මාසයේදී දැඩි කනස්සල්ල පළ කර තිබිණි. විරෝධතා මැඩපැවැත්වීමේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සිදු වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඔහු පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවලට අනුව, මෙම මැතිවරණයට පෙර ඇති වූ දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් ජූනි මාසයේ සිට පැවැති විරෝධතාවලදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.