ඊශ්‍රායලයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු, ඉරානය ටෙහෙරාන් නුවර ඉමාම් ක්හොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සියක් වන IRNA ද මේ බව තහවුරු කරමින් කියා සිටියේ නැවත දැනුම් දෙනතුරු ඉමාම් ක්හොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අත්හිටුවනු ලැබ ඇති බවයි.

පවතින සටන් විරාම ගිවිසුම ද උල්ලංඝනය කරමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනයේ බේරූට් නුවර සහ තවත් ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කළා.

මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ඉරානය අද ඊශ්‍රායලය වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් සිදුකළේ.

එහිදී ලෙබනනයට එරෙහි ඊශ්‍රායල මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ‘රමාත් ඩේවිඩ්‘ ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර තිබෙනවා.

මේ අතර, ඉරානයෙන් පැමිණි බැලැස්ටික් මිසයිල දෙකක් සාර්ථකව විනාශ කිරීමට තමන්ට හැකි වූ බවයි ඊශ්‍රායල ගුවන් ආරක්ෂක අංශ පවසන්නේ.

කෙසේ වෙතත්, තවත් මිසයිල ප්‍රහාර පැමිණීමේ අවදානමක් පවතින බවට ද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ඉරානය සිය බටහිර ගුවන් කලාපය ද වසා දැමීමට කටයුතු කළ අතර, ඉරාකය ද සිය ගුවන් කලාපය පැය 72ක කාලයකට වසා දමන බවයි නිවේදනය කර ඇත්තේ.

මෙසේ තිබියදී ඉරානයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායල හමුදා සූදානමින් සිටින බවට එරට අණදෙන නිලධාරියෙකු ප්‍රකාශ කළත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇත්තේ මේ මොහොතේ ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.

ඇමරිකානු රජය ඊශ්‍රායලය වෙත දන්වා ඇත්තේ, යම් එකඟතාවකට පැමිණීමට අවස්ථාවක් පවතින්නේ දැයි බැලීම සඳහා දින කිහිපයක් ඉවසීමෙන් පසුවීම වඩාත් සුදුසු බවයි.

සීමිත ප්‍රහාර හුවමාරුවකට මැදිවීමෙන් මෙම අවස්ථාව අහිමි කර නොගන්නා ලෙස ද ඇමරිකාව ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම වොෂින්ටනය මේ මොහොතේ සිදුවන සිදුවීම්වල කොටස්කරුවෙකු නොවන බව ද ඇමරිකානු බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, Axios පුවත් සේවයේ බැරක් රවිඩ් සමඟ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ ස්ථිර ගිවිසුමකට පැමිණීමට තමන් ”ඉතා ආසන්න” මට්ටමක පසුවන බවයි.

මේ අතර, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර නව සාකච්ඡා වටයක් සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජුනි 22 වනදා දිනය වෙන් කර තිබෙනවා.