පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කළා.

මෙම මෝසම කැඳවීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම මෝසම අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කළා.

මෙම සැකකරු විශාදය, පශ්චාත් කම්පන, මානසික ආතතිය, චිත්ත ආතතිය වැනි රොගී තත්ත්වයන්ට ගොදුරු වී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

එම වාර්තාවේ ස්ථාන පහක සැකකාර සලේ වධ හිංසාවට භාජනය වී ඇති බවට දක්වා ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අධික ලෙස මානසික පීඩනයකට ගොදුරු වී තිබෙන බව දක්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සුරේෂ් සලේ සිය දිවි නසාගැනීමේ දැඩි අවධානමකට මුහුණ පා තිබෙන බවත් එම වෛද්‍ය වර්තාව තුළින් දක්වා තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පැමිණිලිකාර පාර්ශවයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබාදිය නොහැකි බවයි.

ඒ අනුව මෙම මෝසම හෙට දින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළා.