ඉරානයේ ආරක්ෂක සහ සන්නද්ධ හමුදා සැපයුම් අමාත්යාංශය සඳහා නීතිවිරෝධී ලෙස ආයුධ සහ ආයුධ කොටස් ලබා දීමට කටයුතු කළ පුද්ගලයින් 10 දෙනෙකුට සහ ආයතන කිහිපයකට සම්බාධක පැනවීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය පියවර ගෙන තිබේ.
ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ ආයුධ පර්යේෂණ, නිෂ්පාදන සහ මිලදී ගැනීම් භාරව කටයුතු කරන්නේ මෙම අමාත්යාංශයයි.
එමෙන්ම, එරට බැලස්ටික් මිසයිල සහ ඩ්රෝන යානා සංවර්ධනය කිරීමට සම්බන්ධ සංවිධාන අධීක්ෂණය කිරීමේ බලතල ද පවතින්නේ මෙම අමාත්යංශයට බව ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස සම්බාධකවලට ලක්වූවන් අතර ප්රකට පකිස්තාන ව්යාපාරිකයෙකු වන වසීම් පාෂා තජම්මාල් සහ ඔහුට අයත් සමාගම් තුනක් ද වේ.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, පකිස්තානය ඇතුළු රටවල් කිහිපයක මූලස්ථාන සහ මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන Cavalier Group නම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපතිවරයා වන්නේ තජම්මාල් ය.



