ඉදිරි පැය 36 සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව එහි සඳහන් වනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ අනෙකුත් ස්ථානවල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (12) පස්වරු 4 ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍ය පරිමාණ ජලාශ 17කද වාන් දොරටු විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 12ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කලාවැවෙහි වාන් දොරටු විවෘත කිරීමෙන් පසු රාජාංගනය ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව, මේ වන විට ජලාශයේ, වාන් දොරටු 04ක් අඩි 06 බැගින්ද, වාන් දොරටු 04ක් අඩි 05 බැගින්ද, වාන් දොරටු 04ක් අඩි 04 බැගින්ද, විවෘත කර තිබෙනවා.
ජල මට්ටම ඉහළ යාමත් සමඟ කලා ඔය දෙපස පහත් බිම්වල වෙසන ජනතාවට සහ කලා ඔය පරිහරණය කරන්නන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙනවා.




