සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන් හට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි.
නවක වද සිද්ධියට අදාළව සමනලවැව පොලිස් ස්ථානය වෙත පසුගිය 29 වනදා පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව එම පොලිස් ස්ථානය විසින් සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබූ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
කෙසේවෙතත් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබුණා.
නවක වදය දරාගත නොහැකිව එම සිසුවා සියදිවි නසාගෙන ඇති බවටයි ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කළේ.
මේ අතර සිසුන් පිරිසකගේ පහර කෑමකට ලක් වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මාතර, වලාන රෝහලේ සිට මාතර මහ රෝහල වෙත මාරුකර තිබෙනවා.
පසුගිය 29 වනදා ඔහු නේවාසිකාගාරයේ රැඳී සිටියදී එම පීඨයේම සිසුන් පිරිසක් විසින් තමන්ට පහරදුන් බවටයි ඔහු පවසන්නේ.
ඒ, නවක වදය සිද්ධියකට විරුද්ධ වීම හේතුවෙන්.
තුවාල ලැබූ එම සිසුවා එදිනම හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව තිබෙනවා.
එම රෝහලෙන් ප්‍රතිකාර ලබාදී පිටත් කර හැරීමෙන් අනතුරුව ඔහු වැලිගම, වලාන රෝහලට ඇතුළත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
වැඩිදුර ප්‍රතිකාර සඳහා එම සිසුවා ඊයේ දිනයේ මාතර මහ රෝහල වෙත මාරුකර තිබෙනවා.
අදාළ සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි හෝමාගම පොලීසිය පැවසුවේ.
මේ අතර කොස්ගොඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මතයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 210ක් සන්තකව සිටියදී කොස්ගොඩ පොලීසිය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය පළමුවනදායි.
පොලිස් භාරයේ සිටි සැකකරු ඊට පසුදින මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වූ සැකකරුවෙකු බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.