Wednesday, May 21, 2025

General line - 0115112241

කොටහේන ප්‍රදේශයේ පාසැල් දැරිය අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝගයක් 

උදය කුමාර



Update

කොටහේන ප්‍රදේශයේ ඉකුත් දා සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකාර පාසැල් ගුරුවරයා පිළිබඳ  විමර්ශන වල ප්‍රගතිය  ජුනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කෙරුණා 

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණේ 

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර සුන්දරලිංගම් සංකරන් නැමැති ගුරුවරයාද අධිකරණයේ පෙනී සිටියා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති විසින් මෙහෙයවන බව සඳහන් කළා. 

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන අතර එහි ප්‍රගතිය  ඉදිරියේදී දැනුම් දෙන බවත් පොලිසිය අදිකරණයට දන්වා සිටියා. 

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපයෝජන සිද්ධිය වූ විගස මියගිය දැරිය තවත් දැරියකට ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති බවත් ඇය විසින් ඒ පිළිබඳව පාසලේ විදුහල්පතිවරිය දැනුවත් කර ඇති බවත් සඳහන් කළා. 

එහෙත් අදාල විදුහල්පතිවරිය මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට වාර්තා නොකොට එය යට ගැසීමට කටයුතු කර ඇතැයි එම නීතිඥවරු පෙන්වා දුන්නා. 

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මස 8 වනදා වුවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ ජනවාරි මස 08 වනදා බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා

මෙහිදී විදුහල්පතිවරිය  මෙම සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව ගෙන්වා විභාගයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන් එම නීතිඥවරු අධිකරණය විසින් කළ යුතු ක්‍රියාවක් විදුහල්පතියවරිය විසින් සිදුකර ඇති බවටත් චෝදනා කර සිටියා. 

මෙම සිද්ධියට අදාළව අපයෝජනයට ලක්වූ යේ දැරියගේ මවගෙන් පොලිසිය විසින් සටහන් කරගත් ප්‍රකාශයේ අඩු ලූහුඩුකම් පවතින බවත් එම නීතිඥවරයා සඳහන් කළා. 

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "මවගේ ප්‍රකාශයේ අඩු ලුහුඬුකම් තිබෙනවා යැයි ඔබ කියන්නේ කොහොමද" කියා විමසා සිටියා. 

මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මවගෙන් සහ දැරියගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස තමා නියෝගයක් නිකුත් කළ බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

එම අවස්ථාවේදී කිසිවෙකු ඉදිරිපත් නොවූ බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අඩු ලුහුඬුකම් මතක් වී තිබෙන්නේ මාස හයක් ගෙවීමෙන් පසුව දැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් ගෙන් ප්‍රශ්ණ කළා.

පොලීසියට අවශ්‍ය නම් මවගෙන් නැවතත් ප්‍රකාශයක් සටහන් කර ගත හැකි බවත් අධිකරණය නියෝග ලබා දෙන්නේ ඉදිරිපත් වන කරුණු වලට අනුව මිස බාහිර සාධක මත නොවන බවත් සඳහන් කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විමර්ශන වලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව සඳහන් කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වන සංජය ගමගේ මහතා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධාන සහ යූටියුබ් කරුවන් මෙම සිද්ධිය පිළිබඳ වැරදි තොරතුරු සමාජ ගත කරන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ජුනි මස 23 වනදා යලි කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට නියම කළා.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉකුත් දා සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසලේ සැකකාර ගුරුවරයා සම්බන්ධ  විමර්ශන වල ප්‍රගතිය  ජුනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කළා. 

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළා.