අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළා.
එමෙන්ම අදාල නඩුකර වල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.
සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාට හෙට දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත් වරිය විසින් නියෝගයක් නිකුත් කළා.
2021 සහ 2023 අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් , දීමනා සහ අතිකාල දීමනා ලබාගෙන ඒවා පිළිමතලාව ප්‍රදේශයේ පෞද්ගලික ගිණුමකට බැර කොට එම මුදල් දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් 8058814/- ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැමිණිලි තුනක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.
මෙම පැමිණිලි අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවකු ලෙස රමිත් රඹුක් වැල්ල මහතා නම් කරන බව දැනුම් දුන්නා.
රමිත් රඹුක්වැල්ල මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීම් කර තිබුණද ඔහු මෙතෙක් පැමිණ ප්‍රකාශයක් ලබාදී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවා දායකයා ඇපමත මුදා හැර ලෙස ඉල්ලීමක් කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බවයි.
මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් මේ අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
මෙම විමර්ශනයට අදාළව තවත් පුද්ගලයින් විසි දෙදෙනකුගේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව ඇති හෙයින් විමර්ශන සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වනු ඇතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අනතුරුව ම සැකකරු ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
ඊට අමතරව මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින රමිත් රඹුක්වැල්ල මහතාට හෙට දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රත්වරිය විසින් වැඩිදුරටත් නියෝග කළා.