Wednesday, May 28, 2025

General line - 0115112241

රටක් හඬවා, අමරණීය නිළි රැජින මාලිනිය දැයෙන් සමු ගනී



දශක ගණනාවක් පුරා මෙරට රසිකයින්ගේ සිත් පිනවූ හෙළ සිනමාවේ අසහාය නිළි රැජින ආචාර්ය, මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මැතිණිය අද දැයෙන් සමුගෙන ගියා. 

ඒ මෙරට කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සළකුණක් මෙන්ම පිරවිය නොහැකි හිඩසක්ද ඉතිරි කරමින්. 

ඇයගේ චිතකයේ ගිනි දළු අහස් කුස සිප ගත්තේ නෑ හිත මිතුරන් මෙන්ම ඇයට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත රසිකයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි. 

කොළඹ නිදහස් චතුරස්‍රයේදී මෙම අග්‍රගණ්‍ය නිළි රැජිනගේ දේහය පිළිබඳ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 03යි 45ට පමණ ආරම්භ වුණා. 

රැස්ව සිටි පිරිස පිළිගැනීම සිදු කළේ මාලිනියගේ සමකාලීන රංගන ශිල්පිනියක් වන අනෝජා වීරසිංහ මහත්මියයි. 

ඉන් අනතුරුව වැඩමවා වදාළ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. 

රැස්ව සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවනු ලැබුවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති අග්ගමහා පණ්ඩිත, පූජ්‍ය කඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහන්සේයි. 

මතක වස්ත්‍ර පූජා කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවා.  

ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ එහිදී අනුශාසනාවක් සිදු කළා. 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අනුශාසනාවක් සිදු කරමින් මාලිනී ෆොන්සේකා මැතිණියගේ චරිතයේ යහපත් ගුණාංග පිළිබඳ අදහස් පළ කළා. 

දශක කිහිපයක් පුරා සිනමා ගමනේ එක්ව ආ ප්‍රවීණ සිනමා නළු රවින්ද්‍ර රන්දෙණිය මහතා මෙම අග්‍රගණ්‍ය නිළිය පිළිබඳ ගුණ කථනයක් සිදු කළේ රැස්ව සිටි බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක් කරමින්.