Wednesday, May 28, 2025

General line - 0115112241

වයඹ විද්‍යාපීඨ සිසුවියට ජීවිතය එපා වුණේ ඇයි?



වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

ඒ සඳහා පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කර තිබෙනවා. එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් විද්‍යාපීඨයේ   පීඨාධිපතිගෙන් ද මේ වන විටත් ලබාගෙන තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

සමස්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියේ පරිපාලන හා අධ්‍යාපන කටයුතු සමාලෝචනය කර, සිදු කළයුතු වෙනස්කම් කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවන වසරේ ගුරු සිසුවියක සිය දිවි නසා ගැනීම මේ වන විට සමාජයේ කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙනවා. 

ඇය අවසන් වරට හලාවත ප්‍රදේශයේ විදුහලක ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඇයගේ සියදිවි නසා ගැනීමට ආසන්නතම සිදුවීම ඇය භාර කථිකාචාර්යවරයාගේ ක්‍රියා කලාපය බවට ද චෝදනා එල්ල වන බවට නිල නොවන වාර්තාවල සඳහන්. 

මෙම සිදුවීමත් සමග එම විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් ඉකුත් මැයි 24 වනදා පස්වරුවේ හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක ද නිරත වී තිබෙනවා. 

ඒ, ඉකුත් මැයි 23 වනදා ජීවිතය හැර ගිය මෙම සිසුවියට සාධාරණයක් කරන ලෙස ඉල්ලමින්. 

එමෙන්ම වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිදුවන අකටයුතුකම්වලට ද ඔවුන් එහිදී විරෝධය පළ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.