වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට අද දිනය දක්වා එම රෝහල තුළ ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
ඒ, ඊයේ දිනයේ වෛද්‍යවරුන් විසින් ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අද දිනයේ ද පරීක්ෂා කළ යුතු බවයි.
ඒ අනුව ඔහුට තවදුරටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දෙනවා ද, එසේ නැතිනම් මැගසින් බන්ධනාගාරය වෙත මාරු කරනවා ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස අධිකරණ විසින් පසුගිය දා ලබා දුන් නියෝගයට ඔහු මැගසින් බන්ධනාගාරයේ රඳවනු ලැබුවා.
ඒ අනුව පසුගිය සෙනසුරාදා පස්වරු 04.00ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ආ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ‘ජී’ වාට්ටුවේ රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
කෙසේ වෙතත් එදින රාත්‍රි 10.00ට පමණ හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට බන්ධනාගාරයට පැමිණි වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසයි.
ඒ, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.
ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට අධිකරණය ද නියෝග කර තිබූ බව බන්ධනාගාර ආරංචි පැවසුවා.
එවන් පසුබිමක් තුළ ඔහු ඇතුළත් කෙරුණේ වැලිකඩ බන්ධනාගාර රෝහල් 04 වන වාට්ටුවට බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මේ අතර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සුව දුක් විමසීම සඳහා දේශපාලඥයින් කිහිප දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඊයේ පැමිණ තිබෙනවා.
ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නද වන බවයි බන්ධනාගාර ආරංචි වැඩි දුරටත් පැවසුවේ.