රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා.

ඒ අනුව එම බන්ධනාගාරයේ ආරක්‍ෂිත විශේෂ වාට්ටුවක ඔහු රැද වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සමග තවත් රැදවියන් දස දෙනෙකු පමණ එම වාට්ටුවේ රදවා සිටින බව බන්ධනාගාර ආරංචි පැවසුවා.

අල්ලස් කොමිසම මගින් ඊයේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ, ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එම නියෝගය නිකුත් කළා.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ දී ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක් අල්ලස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූණා.