එංගලන්තය පරාජය කරමින් අසමසම එක්දින ක්‍රිකට් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඔවුන් මෙම විශිෂ්ට දක්ෂතාව දැක්වූයේ පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදීයි.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 430ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එය ජයගනු ඇතැයි ආරම්භයේදී කිසිවෙකු බලාපොරොත්තු වූයේ නොමැති තරම්.

එහෙත් ඉනිම ආරම්භයේ සිටම බලාපොරොත්තු දල්වන පිතිහරභයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉනිම අවසන් වීමට එක පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 430ක් ලබාගනිමින් තරගය ජය ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 429ක් ලබාගත්තේ තරඟය ඉතා පහසුවෙන් ඔවුන් ජයගනු ඇතැයි බොහෝ දෙනාට ඒත්තු ගන්වමින්.

එහෙත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා පිතිකරුවන් සටන්කාමී පිතිහරණයක නිරත වුණා.

ඒ තරඟය ලෙහෙසියෙන් අත හැරීමට තමන් සූදානම් නොමැති බව පෙන්වා දෙමින්.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පවන් රත්නායකයි.

ඔහු පන්දු 106දී ලකුණු 130ක් ලබා ගත්තා.

තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට හැරවූ තවත් තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කළේ දසුන් ශානකයි.

ඔහු පන්දු 50දී ලකුණු 97ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ වේගවත්ම ඉනිමක් ක්‍රීඩා කළේ ජනිත් ලියනගෙයි.

ඔහු පන්දු 27දී ලකුණු 61ක් ලබාගත්තා.