දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 234,503ක් ආපදාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව බලපෑමට ලක්වූ පුද්ගලයින් ගණන 833,985ක් බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

මේ වන විට සුරක්‍ෂිත මධ්‍යස්ථාන 919ක් තුළ පවුල් 34, 198ක පුද්ගලයින් 122,822ක් රඳවා සිටිනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ ගණන 180ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සුරක්‍ෂිත මධ්‍යස්ථාන 97ක් පිහිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පවසනවා.

ආපදා සහන සේවාවන් සම්බන්ධව මහජනතාවට යම් තොරතුරු ලබා දීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සෘජු දුරකථන අංකය වන 011 266 52 58 සහ ආපදා කළමනාකරණ අංශයේ 117 අංකය ඇමතිය හැකියි.