Published
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 25 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි ශාන්ත ජයතිලක මහතා විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එළඹෙන අධිකරණ නිවාඩුවට පෙර දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එහෙත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩල ප්‍රකාශ කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් මස 25 වනදා කැඳවන බවයි.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබෙනවා.
පෙත්සංකරු සිය පෙත්සම තුළින් කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවයි.
නමුත් සුරේෂ් සලේ මහතාට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
එසේම සුරේෂ් සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.




