ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.