තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ දිනයේ සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විදෙස්ගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන විමල් ශාන්ත නොහොත් ‘උණාකූරුවේ ශාන්ත’ නමැත්තා විසින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය බවට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි පොලීසිය පවසනවා.
මේ අතර උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ පොලිසිය විසින් ගොඩබිම මෙහෙයුමකදී සොයාගනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය තංගල්ල ප්‍රදේශයෙන් සොයා ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
ස්ථාන දෙකක ලොරි රථ තුනක තිබී සොයාගත් එම සමස්ත මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 705ක් පමණ වන බවයි මේ වන විට පොලීසිය විසින් අනාවරණ කර ඇත්තේ.
හෙරොයින් කිලෝ ග්‍රෑම් 284ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 420ක් පමණ එම මත්ද්‍රව්‍ය තොගය අතර වනවා.
ඒවායේ වටිනාකම රුපියල් මිලියන දස දහසකට ආසන්න වන බවයි දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පැවසුවේ.
විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන උණාකූරුවේ ශාන්ත නමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවට අනාවරණ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර විමල් ශාන්ත නොහොත් උනාකුරුවේ ශාන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, වලව්වත්ත ශ්‍රී ධර්මාරාම පාර, ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු තංගල්ල ගොඩැල්ලවල ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය සමග ඊයේ පොලිස් භාරයට ගැණුනු ලොරි රථයේ හිමිකරු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
WP LP 3707 දරන එම ලොරි රථය උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ දැනුම්දීම මත කොට්ටාව නගරයේදී වෙනත් අයෙකුට රැගෙන යාමට ලබාදුන් බවයි මෙම සැකකරු ප්‍රශ්නකිරීම්වලදී හෙළි කර ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 140ක් සොයා ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
පිළියන්දල සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති මෙම සැකකරු අවස්ථා 04කදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි අයෙකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.




