මාවිල්ආරු ජලාශයේ සොරොව්ව මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් මහතා පවසනවා.

මාවිල්ආරු ජලාශයේ සොරොව්වට සුළු වශයෙන් හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර, කැලණි ගගේ ජල මට්ටම මේ වන විට මහ ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතිනවා.

නාගලගන්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7යි දශම 4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද පෙරවරුවේ වාර්තා වුණේ.

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ අනුව අඹතලේ ගංවතුර පාලන වේල්ලේ සහ මාලඹේ - කඩුවෙල, අතුරුගිරිය - මාලඹේ සහ මාලඹේ - බත්තරමුල්ල දක්වා මාර්ග දෙපස සහ ඉන් පහළ පිහිටි පහත්බිම්වල වෙසෙන මහජනතාව කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථානවලට ඉවත්වන ලෙසටයි දැනුම් දෙන්නේ.

සිය නිවාසවලින් ඉවත්වන පුද්ගලයින්ට මාලඹේ පිරිමි පාසල සහ පිට්ටුගල යසෝදරා යන පාසල්වලට යන ලෙසටයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා උපදෙස් ලබා දෙන්නේ.

මේ අතර, කළු ඟග ද්‍රෝණියේ පහත්බිම්වලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.