අද හා හෙට විශේෂ දුම්රිය ධාවනය වීමේ ඉඩකඩ අවම බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ දුම්රිය ධාවනය කරන බවට බලධාරීන් ප්‍රකාශ කලද ඊට සුදුසු සූදානමක් ඇතැයි තම සංගමය නොසිතන බවයි.
"මේ සතිඅන්තයේ තමන්ට වෙන ප්‍රවාහනයේදී වෙන අපහසුතාවයට අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදියට කනගාටුව පළ කරනවා. අපි උපරිම උත්සාහ කරනවා දෙපාර්තමේන්තුවට බල කරලා යම්කිසි විශේෂ දුම්රිය ප්‍රමාණයක් මේකට යොදවයි කියලා. ඒ යෙදෙව්වත් ප්‍රමාණවත් නැත්නම් කලට වේලාවට දුම්රියට එන්න, පාපුවරුවේ රැඳී නොසිටිමින් හැකි තාක් දුරට තමන්ගේ ආරක්ෂාකාරී දුම්රිය ගමන කරගන්න කටයුතු කරගන්න. ඒ පණිවිඩය විතරයි අපිට කියන්න තියෙන්නේ."
දීර්ඝ සති අන්තයෙන් පසු උදාවන සදුදා දිනයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.
"සඳුදා උදේට කාර්යාල දුම්රිය සහ විශේෂ දුම්රිය ධාවනය නොවෙන නිසා පවතින දුම්රියවල කොහොමත් සඳුදා දිනය කියන්නේ අපේ දුම්රිය ධාරිතාවේ සඳුදා දිනය කියන දිනය අපේ දුම්රියට දැඩි මගී ප්‍රමාණයක් ඉන්න දිනයක්. එතකොට මේ නිවාඩුවත් එක්ක සඳුදා දිනයට අමතර මගී ප්‍රමාණයක් එකතු වෙනවා නම් ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා කල් වේලා ඇතුව එන්න කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. මොකද දෙපාර්තමේන්තුව මේ මොහොතේ ඔබට අවශ්‍ය පහසුකම් සපයන මට්ටමක නෑ, සපයන්න උවමනාවකුත් දෙපාර්තමේන්තුවට නෑ."
අනවශ්‍ය තදබයක් ඇති නොවීමට කල් වේලා ඇතිව දුම්රිය ස්ථාන වෙත පැමිණෙන ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.




