කුරුණෑගල, ගනේවත්ත - අරන්කැලේ ප්‍රදේශයේ වසර 3 ක පමණ කාලයක් තිස්සේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගල් කොරියක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි තිබූ බැකෝ යන්ත්‍ර 2 ක්, ගල් විදින උපකරණ සහ වෙඩි බෙහෙත් තොගයක් ද භාරයට ගෙන ඇති බව සඳහන්.
අදාළ මන්ත්‍රීවරයාට අයත් ඉඩමක පවත්වාගෙන ගොස් ඇති මෙම ගල් කොරිය සඳහා ලබාගෙන තිබූ බලපත්‍රය 2023 වසරේදී අවසන් වී ඇති අතර, ඉන් පසුව කිසිදු බලපත්‍රයකින් තොරව මෙය පවත්වාගෙන ගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පවතින පනතට අනුව පළාත් පාලන ආයතන සභිකයෙකුට මෙලෙස කැණීම් බලපත්‍ර ලබාගැනීමට හැකියාවක් නොමැති අතර, බලපත්‍ර රහිතව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ද නීති විරෝධී වනවා.
කුරුණෑගල පොලිසියේ ද සහාය ඇතිව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




