ඊජිප්තුවේ කයිරෝ අගනුවර කාර්යබහුල මහාමාර්ගයක ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ පැරණි නගර මධ්‍යයට උතුරින් පිහිටි වරාක් ප්‍රදේශයේ වටරවුම් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුම ආඝ්‍රාණය වීමෙන් අසාධ්‍ය වූ පිරිස් ප්‍රතිකාර සඳහා අවට රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශනවල දැක්වෙන්නේ රාත්‍රී අහස සිසාරා විශාල ගිනි ජාලාවක් සහ කළු දුමාරයක් ඉහළ නගින ආකාරය සහ අසල තිබූ වාහන රැසක් ගිනිගෙන විනාශ වී ඇති ආකාරයයි.

ගින්න හටගත් ආකාරය පිළිබඳව බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති වුවත්, ඉන්ධන බවුසරය පෙරළී යාමත් සමඟ අසල තිබූ වාහන මතට පෙට්‍රල් විසිරී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

කලාපීය මහජන අභිචෝදකවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයින්ගේ සිරුරුවලින් DNA සාම්පල ලබා ගන්නා ලෙසට ද නියෝග කර තිබෙනවා.

පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට අයත් මෙම බවුසරය මහාමාර්ගයේ ගමන් කරමින් තිබියදී, ඒ ඉදිරියට අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව විමර්ශන ආරංචි මාර්ග උපුටා දක්වමින් අල්-අහ්රාම් පුවත්පත සදහන් කරනවා.

අනතුරුව බවුසරය මාර්ගයේ මැද පිහිටි ආරක්ෂිත තීරුව හරහා ගොස් පෙරළී ගිනිගෙන ඇති බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විධිමත් නොවන ජනාවාස සහ අබලන් වූ යටිතල පහසුකම් හේතුවෙන් මෑත වසරවලදී ඊජිප්තුව තුළ මෙවැනි මාරාන්තික ගිනිගැනීම් කිහිපයක්ම වාර්තා වූ අතර, හදිසි ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාදයන් හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.