අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහළ නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පැවසුවේ පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමු කිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බවයි.

මේ අතර අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

ඔහු කියා සිටියේ ඇගලුම්, තේ, රබර් ඇතුළු ක්ෂේත්‍ර ඒ අතරින් ප්‍රමුඛ බවයි.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙලෙස බදු අඩු කර ගැනීම සාර්ථක තත්ත්වයක් වුවද තවදුරටත් බදු අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.