පෝලන්තයේ දෙවන විශාලතම නගරය වන ක්‍රැකෝව් (Krakow) හි ජනාකීර්ණ වෙළඳපොළ පරිශ්‍රයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ.

පෝලන්ත ​පොලිසිය පැවසුවේ හමුදා ඇඳුමි ඇඳගත් සහ හමුදාව භාවිත කරන වර්ගයේ ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙම පුද්ගලයා මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පොලිසිය පැවසුවා.

​ප්‍රහාරයෙන් පසු වෙඩික්කරු පලායාමට උත්සාහ කර ඇති නමුත් පොලිස් නිලධාරින් හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි BBC වාර්තාවේ දැක්වෙන්නේ.

එහිදී පොලිසිය කළ වෙඩි තැබීමකින් වෙඩික්කරු  තුවාල ලබා තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති පරිදි වෙඩි තැබීම සිදුකළ මෙම පුද්ගලයා 25 වන වියේ පසුවන්නෙක්.

ඔහු පෝලන්ත ජාතිකයෙකු බවද, අන්ත දක්ෂිණාංශික මතවාද සහ දැඩි ජාතිකවාදී අදහස් දරන්නෙකු බවද අනාවරණ වී තිබෙනවා.

ඔහු වෙඩි තැබීමට පෙළඹී ඇත්තේ ද එම අන්ත දක්ෂිණාංශික මතවාද සහ දැඩි ජාතිකවාදී අදහස් නිසා බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

ප්‍රහාරයෙන් මියගිය අයගෙන් 3 දෙනෙකු පෝලන්ත ජාතිකයින්.

තවත් අයකු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර, අනෙක් දෙදෙනාගේ අනන්‍යතාව තවමත් තහවුරු වී නැහැ.

තුවාල ලැබූ 15 දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රියා, රුසියානු, ජර්මානු සහ පෘතුගාල ජාතිකයන් ද වනවා.

​අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ නිවස ද පරීක්ෂා කර ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පැවසුවේ.

එහි තිබී තවත් මළසිරුරු 3ක් හමු වූ බව පොලිසිය කියා සිටියා.

මේ පිළිබඳ අදහස් දක්වමින් පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටුස්ක් (Donald Tusk) ප්‍රකාශ කළේ වෙඩික්කරුගේ නිවසේ තිබී සොයාගත් මළසිරුරු දෙකක් කාන්තාවන්ගේ වන අතර අනික් මළ සිරුර පිරිමි පුද්ගලයකුගේ බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වෙඩික්කරුගේ පවුලේ සාමාජිකයින් විය හැකි බවට සැක කරන බවද අගමැතිවරයා පැවසුවා.

​පෝලන්තයේ මෙවැනි දරුණු ත්‍රස්තවාදී සිදුවීමක් මීට පෙර වාර්තා වී නොමැති බවයි අගමැති ඩොනල්ඩ් ටුස්ක් වැඩිදුරටත් කියා සිටියේ.

වෙඩික්කරුට සහය වූ තවත් අය සිටී නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම කොටු කරගන්නා බවද අගමැතිවරයා පවසනවා.

වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුමේදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි BBC වාර්තාවේ දැක්වෙන්නේ.

ඔවුන් සිය ජීවිත තර්ජනයට හෙළා තවත් ජීවිත ගණනාවක් බේරාගත් වීරයන් බව අගමැති ඩොනල්ඩ් ටුස්ක් පැවසුවා.

මේ අතර පෝලන්තයේ සිදු වූ මෙම ​ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පසු වූ බවත් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවයි බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) පවසන්නේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එඩ් මිලිබෑන්ඩ් (Ed Miliband) ද පෝලන්ත ජනතාව වෙත ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

​සිදුවූ ප්‍රහාරය සමග ක්‍රැකෝව් නගරය වසා දමා තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් පැවසුවේ.

නොවැම්බර් 11 වනදා දක්වා නගරය තුළ ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.