අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහිදී කරුණු පෙන්වා දී තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන බවත්, ඒ සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහදී සඳහන් කර තිබෙනවා.

පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය පී. ආර්. වීරතුංග, උප සභාපති එම්. ඒ. එම්. සමීම්, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ යන මහත්වරුන් ඇතුළු එම සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.