ගැසට් කර තිබෙන අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මෙහි ඇතැම් කරුණු සැක සහිත බවට නෙත් නිවුස් දිගින් දිගටම කළ පෙන්වාදීම්වලින් පසු, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අනුරාධපුරයේ සංචාරයක නිරත වුණා.

​අනුරාධපුර ඓතිහාසික උරුමය සහ ආගමික වටිනාකම් සුරක්ෂිත වන පරිදි සියලු සංවර්ධන කටයුතු සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේ.

​නෙත් නිවුස් කළ අනාවරණයන්හිදී පාර්ශ්ව ගණනාවක් කියා සිටියේ, ගැසට් කර තිබෙන අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම යටතේ බෞද්ධ වටිනාකම් නොසලකා හැර ඇති බවයි. මේ යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිසා බෞද්ධ වත්පිළිවෙත්වලට අවහිරතා ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා.

නිදසුනක් ලෙස ගැසට් කර ඇති අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මෙහි සඳහන් වන රුවන්වැලි සෑය වටා ඉදි කෙරෙන ආරක්ෂිත වැට වෙනුවෙන් එහි මල් ආසන ඉවත් කරනු ඇතිදැයි ඔවුන් පළකල එක් සැකයක්.

ජේතවනාරාමය අසල පිහිටි පැරණි කෝවිලක් ඉන්දීය බලපෑම යටතේ රාමා කෝවිලක් ලෙස සංවර්ධනය කෙරුණු ඇතිද යන්න මතු කෙරුණු තවත් සැකයක් වනවා.

ගැසට් කර ඇති අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අනුව කිරි ආහාර පූජාව සඳහා මැටි බඳුන් යොදා ගැනීම තහනම් වන බවයි සඳහන් වන්නේ.

මෙයද බෞද්ධ වටිනාකම් නොසලකා හැරීමක් බවට පාර්ශව ගණනාවක් තර්ක කළා.

​එසේ තිබියදී, අද අනුරාධපුරයේ කළ සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සංවර්ධන කටයුතුවලදී මතුවන ගැටලු අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර විසඳාගත යුතු බවයි.

​ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති මෙම සංවර්ධන සැලැස්ම 2026 පෙබරවාරි 27 වැනි දින යාවත්කාලීන කර ගැසට් කර තිබෙනවා.

ඊට ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 7.7ක්. ඒ වෙනුවෙන් අවශ්‍ය ආධාර ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.

කරුණු සොයා බැලීම සඳහා ​අනුරාධපුර පූජා නගරය වෙත පැමිණි ජනාධිපතිවරයා, පාගමනින් ඇවිද යමින් ඓතිහාසික පොකුණු තුන ආශ්‍රිත මාර්ග සංවර්ධන කටයුතු, බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්‍යා කැණීම් සහ රුවන්වැලි සෑය අසල රථගාලක් ඉදිකිරීමට යෝජිත භූමියද නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

​පසුව ඓතිහාසික රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ජනාධිපතිවරයා, වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්ද බැහැදැක ආශීර්වාද ලබාගත්තා.

ජනාධිපතිවරයා පුදබිමට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතාබහක නිරත වුණා.