රක්‍ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැද වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඊයේ පස්වරුවේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔහු රදවනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිටින වාට්ටුවේ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදීයි.

ඒ අනුව එහි නිලධාරීන් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේ පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදල් ලබාගැනීමේ සිදුවීමකට අදාළවයි.

එමෙන්ම සැකකරු සිය බිරිඳ සහ ඥාතීන් සම්බන්ධ කරගනිමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවත්, මැණික් ව්‍යාපාරිකයන් රැසකගෙන් ද අල්ලස් ලබාගෙන ඇතැයි චෝදනා පවතින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණා.

අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ සැකකාර චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකළ බවයි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.