කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ චීන ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඔහු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල චීන ජාතික සැකකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 4 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබී සිම්පත් 42 ක් සහ දුරකථන 05 ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

දීර්ඝ කාලයක සිට මෙරට රැඳී සිටිමින් වරාය නගරය තුළ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ මෙම කප්පම් ජාවාරම සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත පදනම්ව සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් සකස් කළ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිට ඇති බවද පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.