විදේශයන්හි සිට මෙරටට ගෙන එනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් ලබාදෙන සාක්ෂි සහ තොරතුරු මත යම් නිලධාරියෙකු හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙකු ඊට සම්බන්ධ බව තහවුරු වුවහොත්, ඔවුන් තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දූෂණ-වංචා මර්දනය කිරීම සඳහා රජය විසින් විශේෂ ප්‍රතිපත්තිමය සැලසුමක් දියත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
"සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අපි ඇත්තටම බලයට එන්න කලින් ඉඳලා අපි ඒ සම්බන්ධයෙන් විශාල ලෙස සාකච්ඡා කරපු කරුණු. ඒ නිසා ප්‍රතිපත්තියක් වශයෙන් අපි තීන්දු තීරණ අරන් තියෙනවා මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, දූෂණ, වංචා සම්බන්ධයෙන් විශාල සැලැස්මක් අපි දියත් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. විදේශ රටවල සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ විමර්ශන කණ්ඩායම් මූලික වෙලා, ඔවුන්ව මේ රටට ගෙනැල්ලා තියෙනවා, තවත් ගේනවා. ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඔය තොරතුරු අනුව, ලැබෙන සාක්ෂි සහ තොරතුරු අනුව යම්කිසි කෙනෙක්, නිලධාරීන් හෝ ඒවට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔවුන්වනුත් ඒ නීතිය හමුවට ගෙනැල්ලා කටයුතු සිද්ධ කිරීම තමයි රජයක් හැටියට අපේ වගකීම. මත්ද්‍රව්‍ය කියන්නේ මේ ජාලයක්නේ. එතකොට ඒකට තරාතිරමක් නැහැ ඔවුන්ට. පාසලද, එහෙම නැත්නම් ආගමික ස්ථානද, වෙන රජයේ ආයතනද කියන එක නැහැ. ඒ නිසා සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් අපි අරගෙන තියෙනවා. කොහොමහරි අනිවාර්යයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ සියල්ලක්ම අපි ඉදිරියේදී අනිවාර්යයෙන් මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව."

මේ අතර දේශපාලන ආශීර්වාදය සහිතව ශක්තිමත් වූ මත්ද්‍රව්‍ය ව්‍යසනය සහ සංවිධානාත්මක අපරාධ සමාජයෙන් මුළුමනින්ම තුරන් කිරීම සඳහා පියවරෙන් පියවර දැවැන්ත සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදේශයන්හි සැඟව සිටින ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ගම් මට්ටමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට ද විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බවයි.
"සමාජයේ තියෙන ව්‍යසනයක් කෙටි කාලයකින් අවසන් කරන්න හැකියාවක් නැහැ. මොකද ඒවා වර්ධනය වුණේ දේශපාලන ආශීර්වාදය සහිතව. ඉතින් ඒවා කාලයක් යනකොට ඒවා ශක්තිමත් වෙනවා. ඉතින් එවැනි ශක්තිමත් වෙච්ච ව්‍යාපාරයක් තමයි මත්ද්‍රව්‍ය ජාවාරම. ඒකට සංවිධානාත්මක අපරාධ සම්බන්ධයි. ඉතින් අපි ක්‍රමානුකූලව මේක මර්දනය කිරීම සඳහා විශාල වැටලීම් ක්‍රියාවලියක් සැලසුම් කරලා තියෙනවා. ඒක දේශීයවත් විදේශීයවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටට ගෙන ඒම වගේම ගම් මට්ටමේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. දැනටත් මහජන ආරක්ෂක කමිටු 14,000ක විතර ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා වැටලීම් ක්‍රියාවලිය සඳහා පොලිසියට සහය දෙන්න. ඒ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් අධිෂ්ඨානශීලීව මේ සමාජයෙන්, මේ ව්‍යසනයෙන් මේ අනාගත දරු පරපුර මුදා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවරයන් ගන්නවා."