අමෙරිකාවේ මිනිඇපොලිස් ප්‍රදේශයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාල පාසලේ සිසුන් දේව මෙහෙයට එක්ව සිටි අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. වෙඩි තැබීම සිදුකර ඇත්තේ 23 හැවිරිදි රොබින් වෙඩ්ස්මන් නැමැති පුද්ගලයෙකු විසින්. එම පුද්ගලයා ද අදාල ස්ථානයේදීම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 08ක සහ අවුරුදු 10ක ළමුන් දෙදෙනෙක්. තුවාල ලැබූ 17 දෙනාගෙන් 14 දෙනෙකු පාසල් සිසුන් වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ප්‍රහාරකයා විසින් ගිනි අවි 03ක් යොදා ගනිමින් අදාල පාසලේ පල්ලියේ ජනේලයක් හරහා වෙඩි ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. වෙඩි තැබීමේ අරමුණ මෙතෙක් අනාවරණ වී නොමැති අතර එය ගෘහස්ථ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ කතෝලිකයින්ට එරෙහි වෛරී අපරාධයක් දැයි විමර්ශනය කරමින් පවතින බව අමෙරිකානු ආරක්ෂක අංශය පවසා තිබෙනවා. වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරුවේ මව මීට පෙර එම පාසලේ සේවය කර ඇති බවද අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.