‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය හමුවේ තවමත් අතුරුදන්ව සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා විදෙස් සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් ඊට එක්කර ගැනීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසුවේ.

ආපදා තත්ත්වය පහව යාමෙන් පසුවද ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් වීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ජනතාව දැනුවත් කළා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන තෙක් සිදු කරන ලද පරීක්ෂණවලදී නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල පවතින බව තහවුරු කරගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා.

ඒ අනුව එම පිරිස සඳහා ආරක්ෂිත ස්ථානයක නව නිවාසයන් ඉදිකර දීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මෙම දත්තයන් ඉදිරි සතියේ දී තවත් වැඩි විය හැකි අතර පර්යේෂණවල ප්‍රතිඵල සමග මෙම දත්තයන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.