මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ රැදවියන් රදවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබෙනවා.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පසුගියදා එම බන්ධනාගාරයේ ඇති හදිසි තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බවයි.

එමෙන්ම, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමට සහ රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද කටයුතු කළයුතුයි.

ඒ අනුව විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට ද නියමිතයි.

එවන් පසුබිමක් තුළ මේ වනවිටත් මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කර ඇති බවයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුභසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට අමතරව තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.

ඒ අනුව මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් ”මහමෝදර” සහ ”පැරණි බෝගම්බර” පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට කටයුතු කරන බවයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිකුත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.