ප්‍රංශයේ පැරිස් නුවර තදාසන්න ප්‍රදේශ 2ක වෙඩි තැබීම් සිදුව තිබෙනවා.
පැරිස් නුවරට නිරිතදිගින් පිහිටි ට්‍රැප්ස් සහ ඒ ආසන්නයේ පිහිටි ලා වේරියර් යන ප්‍රදේශවලදී මෙම වෙඩි තැබීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පිරවුම්හලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ ළමා ක්‍රීඩාංගණයක් අසල සිටි පිරිස් ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර ඇතැයිද විදෙස් මාධ්‍ය පැවසුවා.
මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විනාඩි 15 ක පමණ කාලයක් ඇතුළත අහඹු ලෙස පාරේ සිටි පිරිස් වෙත වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ සංක්‍රමණිකයන් පිරිසක්.
මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් පස්දෙනකු තුවාල ලබා ඇති අතර ඒ අතර 12 හැවිරිදි ගැහැණු ළමයෙකු ද වනවා.
සිදුවූ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසන්නේ මෙම වෙඩි තැබීම ජාතිවාදී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
සිද්ධිය වූ ස්ථානයට ද පැමිණි ජනාධිපතිවරයා සමේ පැහැය හෝ ආගම මුල් කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බව පැවසුවා.
මෙවැනි අන්තවාදී මතවාද හමුවේ කිසිසේත්ම පසුබැස නොසිටින ලෙසයි ඔහු සියලු ප්‍රංශ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ.
සිදුවූ වෙඩි තැබීම පිළිකුල් සහගතව හෙලා දකින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටින දොළොස් හැවිරිදි දැරියගේ මව පවසන්නේ, සිය දියණිය හිස වසා ගන්නා සලුවක් පැළඳ සිටි බැවින් ඇයව ඉලක්ක කළාදැයි සැකයක් පවතින බවයි.
වෙඩි පහරවල් 8 ක් වැදී ඇති එම දැරිය මේ වන විට දැඩි ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ‘කෙවින් ටී‘ නමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති අතර කෙටි කාලයක් තුළ ඔහු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය සමත් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම පුද්ගලයා මීට පෙර ද වැරදි කිහිපයකට චෝදනා ලැබූවෙකු බවද හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රංශයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඔහු ඇතුළත්ව සිට නැහැ.
වැඩිදුර විමර්ශනය සඳහා සැකකරුගේ පවුලේ සමීපතමයෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ දෙවන ලෝක යුද සමයේ භාවිත කළ පැරණි වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින්.




