තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් භාවිත කරමින් සිදුකරන වංචාවක් පිළිබද තොරතුරු වාර්තා වී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ජංගම දුරකථන කෙටි පණිවිඩ මගින් විවිධ පුද්ගලයන්ට දැනුම්දී ඇති බවයි.
එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා මෙම වංචාව සිදු කරන බවද අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව එම වංචනිකයින් පාරිභෝගිකයන්ගේ ගිණුම්වල මුදල්ද වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධීන් පිළිබද පැමිණිලි ලැබී ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතන ද දැනුවත් කර තිබෙනවා.
මෙවැනි වංචාකාරි කෙටි පණිවිඩ සබැඳි, ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා.
මේ අතර මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ විදෙස් ජාතිකයන් 18 දෙනෙකු අප්‍රේල් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මීගමුවේ පිහිටි ලැගුම්හලක සිදුකළ වැටලීමකදීයි එම විදෙස් ජාතිකයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිපත් කළා.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ චීන ජාතිකයින් 16ක් සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙක්.




