මීගොඩ ප්රදේශයේ පැවති දන්සලක පෝළිමේ සිටි පුද්ගලයන් පිරිසක් අනතුරට ලක් කළ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔවුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත අද පෙරවරුවේ භාරවීමෙන් අනතුරුවයි.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වුණේ.
පසුගිය මැයි 31 වනදා මීගොඩ හන්දිය අසල පැවති රොටී දන්සැලක පෝළිමේ සිටි පිරිසක් අනතුරට ලක් කරමින් එම කැබ් රථය පලාගොස් තිබුණා.
වහා ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කැබ් රථය ගොඩගම ප්රදේශයේදි සිය භාරයට ගනු ලැබුවා.
එම අවස්ථාවේ කැබ් රථය පැදවූ බීමතින් සිටි රියදුරාද පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්තා.
කෙසේවෙතත් කැබ් රථයේ සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළ ද ඊයේ දිනයේ තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියා.
එවන් පසුබිමකයි අදාළ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු එලෙස අද දිනයේ මීගොඩ පොලිස් ස්ථානය වෙත භාර වී ඇත්තේ.
සිදුවූ එම අනතුරෙන් මීගොඩ ප්රදේශයේ පැවති දන්සලේ පෝලීමේ සිටි පුද්ගලයන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම තවත් හත් දෙනෙකු තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් එදින අත්අඩංගුවට ගත් කැබ් රථ රියදුරා හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
නීතිඥවරයෙකු මාර්ගයෙන් අද දිනයේ භාර වූ සැකකරුවන් දෙදෙනාද හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි මීගොඩ පොලිසිය පැවසුවේ.




