පැයට කිලෝමීටර් 110ක අධික වේගයෙන් ධාවනය වූ බව කියන යතුරුපැදියක් කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ සේනපුර ප්‍රදේශයේදී ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා බස් නැවතුමේ නතර කිරීමත් සමඟ, ඊට පිටුපසින් පැමිණි ලොරි රථය ද නතර කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ සමඟම එම දිශාවටම අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ලොරි රථයේ පිටුපස ගැටී ඒ තුළ සිරවී තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ ඉන්ධන ටැංකිය සහ අසුන ගැලවී වෙන් වී ගොස් ඇති අතර, යතුරුපැදියට ද බරපතළ අලාභ හානි සිදුව ඇති බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කළා.

ලොරි රථය යට සිරවී තිබූ යතුරුපැදිය පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී පැයට කිලෝමීටර් 110 සීමාවේ එහි වේග මීටරයේ සටහන්ව තිබූ බව පොලිසිය පැවසුවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.