පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත් ජනතාව මුදා ගැනීම, සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලු පාර්ශ්වවල කැපවීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බවයි අද පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,780කට අයත් පුද්ගලයින් 63,121ක් පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම මෙන්ම, දිස්ත්‍රික්කයේ විදුලි සහ ජල සැපයුම, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු විමසනු ලැබුවා.
එළවළු සහ අර්තාපල් වගාවට සිදුව ඇති හානිය සහ යළි වගා ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එළවළු අස්වැන්නෙහි අඩුවීම සියයට 25ක් පමණක් බවයි කෘෂි නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟයක් පවතින බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන පුවත් අසත්‍ය බවද එම නිලධාරීන් පෙන්වා දුන්නා.




