2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

නිවාස ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සමීපව නිරීක්ෂණය කර තිබෙනවා.

එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.